අවුරුදු හතළිහට අඩු අයට ත්‍රිරෝද රථ රියැදුරු රැකියාව තහනම් කිරීමට ආණ්ඩුවේ ඇමැතිවරු සූදානම් වන්නේ කිසිදු සමීක්ෂණයක්, සංඛ්‍යා දත්තයක් ගැන අවධානයක් යොමු නොකර බව යූත් ෆෝ චේන්ජ් සංවිධානයේ ලේකම් ළහිරු වීරසේකර පවසයි.
විරැකියාවට විසඳුම් ලබාදෙනවා වෙනුවට මෙසේ ත්‍රිරෝද රථ රියැදුරන් ලෙස එක්වීමට වයස් සීමාවක් පැනවීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවද ඔහු අවධාරණය කළේය.
සෑම දෙයකටම විසඳුම වයස වැඩි කිරීම යැයි විශ්වාස කරන ආණ්ඩුව විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමට සූදානම් වන ආකාරයටම ත්‍රිරෝද රථ රියැදුරෙක් බවට පත්වීමේ වයස අවුරුදු හතළිහක් දක්වා ඉහළ නැංවීමට සූදානම් වන බවද ඔහු සඳහන් කළේය.
රෝහල් සහායක පුරප්පාඩු දාහතර දහසක් තිබෙන නමුත් ඒවා පුරවාගැනීමට කටයුතු නොකරන ආණ්ඩුව ත්‍රිරෝද රථ රියැදුරන්ට සීමාවන් පැනවීමට උත්සාහ ගන්නා බවද ඔහු පැවැසුවේය. ත්‍රිරෝද රථ නැති කළ විට සියල්ලටම විසඳුම් ලැබෙන බව ආණ්ඩුව විශ්වාස කර ඇති බව ද ඔහු කීවේය.
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රැකියා විරහිත භාවය නැති කිරීමට රැකියා බැංකුවක් පිහිටුවන බව පැවැසුවත් එවැන්නක් පිහිටුවා නැති බවත්, වයසට සීමාවක් පැනවීම මගින් ත්‍රිරෝද රථ රියැදුරන් වෙනුවෙන් ආණ්ඩුව රැකියා ලබාදීම සඳහා දී තිබෙන සැලසුම කුමක්දැයි ඔහු ප්‍රශ්න කළේය.
“ත්‍රිරෝද රථ පදින අය ගැන නලින් හේවගේ නියෝජ්‍ය ඇමැතිවරයා කියලා තියෙන කතාවලින් තරුණයන් ගැන ආණ්ඩුවේ ආකල්පය පැහැදිලි වෙනවා. ඉස්කෝලෙන් එළියට ආපු ගමන් තරුණයෝ ත්‍රීවිල් එකක් අරගෙන පාරට එනවා කියලා තමයි නියෝජ්‍ය ඇමැති හිතාගෙන ඉන්නේ. ලක්ෂ එකොළහක් ත්‍රීවීල් තියෙනවාය කියලා නියෝජ්‍ය ඇමැති කියනවා. ත්‍රීවිල් ලක්ෂ එකොලහ කියන්නේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ත්‍රීවිල්. මේ වයස් සීමාවේ මේ තරම් තරුණයෝ ත්‍රීවිල් රියැදුරන් ඉන්නවා කියලා කිසිම සංඛ්‍යා ලේඛනයක් නෑ. සමාජයේ හොඳ යැයි සම්මත රැකියා කරන අය ගෙදර යන ගමන් ඇප් එකක් දාගෙන, තමන්ගේ වාහනයෙන්, බයිසිකලයෙන්, ත්‍රීවිල් එකෙන් හයර් එකක් දුවලා කීයක් හරි හම්බකරගන්නවා. මහ රෑට කෑම ප්‍රවාහනය කරලා සල්ලි හොයනවා.
ත්‍රිරෝද රථ රැකියාවේ නිරතවන අය, මෝටර් සයිකල්වලින් ගිහින් ඇප් හරහා සේවා සපයන තරුණ තරුණියෝ බොහෝ පිරිසක් ඉල්ලනවා. මේ ඇප් නියාමනය කරන්න කියලා ත්‍රිරෝද රථ සංගම් කාලයක් තිස්සේ ඉල්ලනවා. ඒත් ඒවාට ආණ්ඩුව කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා නෑ. වැඩ කරන තරුණ තරුණියන්ගේ වෘත්තීය අයිතිවාසිකම් අහිමි වීම ගැන කතා නොකරන ආණ්ඩුව ත්‍රීවිල් පදින අය ගැන කතා කරනවා. ජනතාවගේ සේවක භාරකාර අරමුදලේ, සේවක අර්ථාධක අරමුදලේ තිබෙන මුදල් හාම්පුතුන්ට කොල්ලකෑමට ඉඩදෙන ආණ්ඩුව තරුණයන්ට ත්‍රීවිල් එකෙන් බැහැලා එන්නලු. මේ දේවල්වලින් තවත් රැකියා විරහිත තරුණයන්ගේ සංඛ්‍යාව වැඩිවීමයි වෙන්නේ.”
