සූරසේන මහත්තයා හරියට වැඩේ කරනවා.. දැන් නඩු වේගෙන් ඇහෙනවා…

මහජන දේපළ අවභාවිත කළ සහ දූෂණවලට සම්බන්ධ වූ පුද්ගලයන්ට නීතිය මගින් දඬුවම් ලබා දීම මෙන්ම, ඔවුන් විසින් අයථා ලෙස උපයා ගත් දේපළ හා මුදල් යළි රජයට පවරා ගැනීම සඳහා රජය දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, හොරකම නැවැත්වීම පමණක් නොව, හොරා කෑ දේපළ යළි ලබා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ මේ වන විටත් සිදු කරමින් පවතින බවයි.

ඒ අනුව, අපරාධ මගින් රැස් කරගත් දේපළ යළි පවරා ගැනීමේ පනත යටතේ මේ වන විටත් රුපියල් මිලියන 4000කට අධික වටිනාකමකින් යුත් දේපළ රජයට පවරා ගැනීමට කටයුතු කර ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.

අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, විනිසුරුවරුන් සිය රාජකාරිය නිසි පරිදි ඉටු කරමින් සිටින බවයි.

විශේෂයෙන්ම අගවිනිසුරුවරයාගේ කාර්යභාරය අගය කළ අමාත්‍යවරයා, ඔහු සිය සේවා කාලය අවසන් වීමට පෙර අදාළ නඩු කටයුතු ඉතා කාර්යක්ෂමව මෙහෙයවමින් සිටින බව සඳහන් කළේය.

“අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීමටත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමටත් රජය පියවර ගන්නවා. විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ රැසක් හරහා ජනතාවට වඩාත් සමීප සහ කාර්යක්ෂම අධිකරණ පද්ධතියක් නිර්මාණය කිරීම අපේ අරමුණයි” යනුවෙන් ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

නීතිය ක්‍රියාත්මක වීම හමුවේ විපක්ෂය දැඩි අසීරුතාවයට පත්ව ඇති බවත්, මීට පෙර නීතියෙන් බේරී සිටිය හැකි යැයි සිතා සිටි පිරිස්වලට දැන් බන්ධනාගාර ගත වීමට සිදුව ඇති බවත් වසන්ත සමරසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *