නාමල් හිරේ දැම්මාට අනුරාධපුර රැළිය නවත්තන්නේ නෑ..- SLPP

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම, රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ බරපතළ තර්ජනයක් බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

මෙම අත්අඩංගුවට ගැනීම සහ ඉන් අනතුරුව මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් සිය දැඩි පිළිකුල සහ විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

මෙය හුදෙක් පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් සිදු කළ අත්අඩංගුවට ගැනීමක් නොව, සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියම අඩපණ කිරීමේ අරමුණින් රජය විසින් දියත් කරන ලද දේශපාලන දඩයමක් බව එම පක්ෂයේ මතය වී තිබේ.

එම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, එළඹෙන සැප්තැම්බර් 12 වන දින අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතව තිබූ දැවැන්ත ජන රැළිය සහ ඊට ලැබෙමින් පැවති ඉහළ ජනතා ප්‍රතිචාරය හමුවේ රජය දැඩි බියකට පත්ව ඇති බවයි.

තරුණ නායකත්වයක් ලෙස නාමල් රාජපක්ෂ මහතා වටා රොක් වන ජන බලවේගය සහ ඔහුගේ දේශපාලන දැක්ම යටපත් කිරීම සඳහා රජය මෙම අත්තනෝමතික පියවර ගෙන ඇති බවට එම පක්ෂය චෝදනා කරයි.

වත්මන් පාලනය සියලු අංශවලින් අසාර්ථක වී ඇති බවත්, එම අසාර්ථකත්වය වසා ගැනීම සඳහා විපක්ෂයේ හඬ මර්දනය කිරීමට ඔවුන් උත්සාහ කරන බවත් පොදුජන පෙරමුණ පවසයි.

විශේෂයෙන්ම පවතින පාලනයට එරෙහිව ගොඩනැගෙන මහජන විරෝධය හමුවේ, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උදුරා ගැනීමට රජය දරන උත්සාහයක කොටසක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම හඳුන්වා දිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

මෙම ක්‍රියාවලිය කිසිසේත්ම අහම්බයක් නොවන බවත්, දේශපාලන පළිගැනීම් හමුවේ තම පක්ෂය නොසැලී ඉදිරියට යන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *