මෙට්‍රො බස් ගෙන්වන්නේ Indra Traders හරහා.. දෙවැනි වටයේ බසයක් මිලියන හයක් වැඩියි…- බිමල්..

Metro සේවාව සඳහා චීනයෙන් ආනයනය කරන ලද බස් රථවල මිල ගණන් අතර පවතින වෙනස සහ ඒවායේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අතර සංවාදයක් ඇති විය.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ප්‍රවාහන අමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේය.

එහිදී මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ප්‍රශ්න කර සිටියේ, පළමුව ගෙන්වන ලද බස් රථ 10කට වඩා දෙවනුව ගෙන්වන ලද බස් රථ 100 සඳහා එක් බස් රථයකට රුපියල් මිලියන 6කට ආසන්න වැඩි මුදලක් ගෙවා ඇත්තේ මන්දැයි යන්නයි.

එසේම, ඉන්ද්‍රා ට්‍රේඩර්ස් (Indra Traders) සමාගමට මෙම බස් රථ නඩත්තු කිරීමේ හැකියාවක් ඇත්දැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා, රජයේ 50% ක කොටස් හිමි ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම හරහා මෙරටට අවශ්‍ය බස් රථ මිලදී නොගෙන මෙවැනි අධික මිලක් සහිත බස් රථ ගෙන්වීම හරහා “නගරයට කිරි – ගමට කැකිරි” දීමේ ප්‍රතිපත්තියක් ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේදැයි විමසා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ, පළමු බස් රථ 10 ‘ක්ලීන් ශ්‍රී ලංකා’ අරමුදල මඟින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ ආනයනය කළ බවත්, පසුව ගෙන්වූ බස් රථ 100 ප්‍රවාහන අමාත්‍යාංශයේ විවෘත තරගකාරී ලංසු කැඳවීමකින් පසු ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම හරහා මිලදී ගත් බවත්ය.

දෙවන අදියරේදී එක් බස් රථයක් සඳහා ගෙවන මුදල රුපියල් මිලියන 41.9ක් දක්වා ඉහළ යාමට බලපෑ සැබෑ තාක්ෂණික සහ නෛතික හේතු සාධක අමාත්‍යවරයා සභාගත කළේය.

  • පළමු ටෙන්ඩරයේදී (2025 ජූලි) ඩොලරයක අගය රු. 305.51 ක්ව පැවති අතර, දෙවන ටෙන්ඩරයේදී (2025 ඔක්තෝබර්) එය රු. 306.76 දක්වා ඉහළ යාම.
  • පළමු බස් රථ ආසන 32කින් යුත් BJ6129 මාදිලිය වූ අතර, දෙවන අදියරේදී ආසන 40 කින් යුත් බස් රථ 40ක් සහ ආසන 32 කින් යුත් බස් රථ 32ක් ඇතුළුව BJ6123 නවීන මාදිලියේ බස් රථ ඇතුළත් වීම.
  • දෙවන කාණ්ඩයේ බස් රථ සඳහා පූර්ණ ඩිජිටල් මගී තොරතුරු සහ මෙහෙයුම් පද්ධතියක් (Complete Digital System) අන්තර්ගතව තිබීම.
  • දෙවන කාණ්ඩයේදී මාසයක ණය සහන කාලයක් (Credit Period) ලැබීම සහ කාර්යසාධන ආරක්ෂණ ඇපකරය (Performance Security) දින 365 සිට දින 1,020ක් දක්වා දීර්ඝ කර තිබීම.
  • මෙරට කාර්මික ශිල්පීන් 16 දෙනෙකුට දින 7ක විදේශීය පුහුණුවක් ලබා දීම සහ අදාළ නිෂ්පාදන සමාගමේ නේවාසික ඉංජිනේරුවරුන් සිව්දෙනෙකු (Resident Engineers) වසර දෙකක් පුරා මෙරට රැඳී සිටිමින් බස් රථ නඩත්තුව අධීක්ෂණය කිරීමේ පහසුකම ඇතුළත් වීම.

මෙම පහත් පත්ල සහිත (Low-floor) බස් රථ නාගරික මෙට්‍රෝ සේවාව සඳහාම විශේෂයෙන් සකස් කර ඇති බවත්, ග්‍රාමීය මාර්ගවල ධාවනය කිරීමට මේවා කිසිසේත් යෝග්‍ය නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

ග්‍රාමීය ප්‍රවාහනය සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය වෙනම පිරිවිතරයන් යටතේ ඉදිරියේදී බස් රථ යෙදවීමට කටයුතු කරන බවද බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සභාවට දන්වා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *