බහරේනයේ ස්ථාපිත කර තිබූ එක්සත් ජනපද හමුදාවට අයත් පූර්ව අනතුරු ඇඟවීමේ රේඩාර් මධ්‍යස්ථානයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර එය මුළුමනින්ම විනාශ කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කළ බව ඉරාන රාජ්‍ය පුවත් ඒජන්සිය වන IRNA වාර්තා කරයි.
ඉරානයේ දකුණු දිග පිහිටි සිරීක් ප්‍රදේශයේ විදුලි සංදේශ කුලුනක් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාරයක් වශයෙන් මෙම ප්‍රතිප්‍රහාරය එල්ල කළ බව විප්ලවීය ආරක්ෂක බලකාය තහවුරු කර තිබේ.
බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ සිරීක් ප්‍රදේශය වෙත සතුරු ප්‍රහාරයක් එල්ල වූ බව නිල මූලාශ්‍ර උපුටා දක්වමින් පුවත් සේවය මීට පෙර වාර්තා කර තිබූ අතර, සාමාන්‍යයෙන් ඉරාන බලධාරීන් එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය හඳුන්වනු ලබන්නේ ‘සතුරා’ යන නාමයෙනි.
හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව සිදු කෙරෙන ගුවන් ප්‍රකෝප කිරීම් සහ නීතිවිරෝධී තෙල් ජාවාරම් වහා නතර කරන ලෙස ආක්රමණික සතුරන්ට කරන ලද දැඩි අනතුරු ඇඟවීමක් ලෙස මෙම ප්‍රහාරය ක්‍රියාත්මක කළ බව IRGC ප්‍රකාශය උපුටා දක්වමින් IRNA වාර්තා කර ඇත.
මෙවැනි ආක්‍රමණශීලී ක්‍රියාකාරකම් සහ උල්ලංඝනය කිරීම් නැවත සිදු වුවහොත්, කිසිදු සීමාවකින් තොරව දැවැන්ත ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා සිය අභ්‍යවකාශ හා ගුවන් ආරක්ෂණ බලකාය පූර්ණ සූදානමින් පසුවන බව ද ඉරානය වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
