අපි යලිත් IMF වැඩසටහනකට යන්නයි හදන්නේ..

ශ්‍රී ලංකාව මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින 17 වැනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, නැවතත් මූල්‍ය අරමුදලේ වෙනත් වැඩසටහනකට එළඹීමේ සම්භාවිතාවක් පවතින බව මුදල් හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

‘දෙරණ 360’ දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවට තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය හෝ නව වැඩසටහනක් අවශ්‍ය වන්නේද යන්න සහ රටේ විදේශ සංචිතවල පවතින සැබෑ තත්ත්වය පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදු කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය මඟින් විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි.

තම සභාපතිත්වයෙන් යුතුව පත් කර ඇති මෙම විශේෂ කමිටුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මහා භාණ්ඩාගාරයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන ඇතුළු ආර්ථික හා මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළත් වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය. 

ඉදිරියේදී රැස්වීමට නියමිත මෙම කමිටුව මඟින් දේශීය ආර්ථික අවශ්‍යතා මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පවතින අවදානම් සාධක ද ගැඹුරින් විශ්ලේෂණය කිරීමට නියමිතය.

වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කළ මහාචාර්ය අනිල් ජයන්ත මහතා,

“වත්මන් වැඩසටහන යටතේ අපි රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව සහ ආර්ථික ස්ථාවරත්වය බොහෝ දුරට අත්පත් කරගත්තා. නමුත් ඉදිරියට පනින්න තියෙන පිම්ම සඳහා බාහිර අංශයේ අවදානම් කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතුයි. විදේශ සංචිත ගොඩනැඟීම සහ ජාත්‍යන්තර වෙළෙඳාම මුළුමනින්ම අපේ පාලනය යටතේ පවතින දේවල් නෙවෙයි. ඉදිරියේදී ගෝලීය ආර්ථික වර්ධනය සියයට 3.1 ක් දක්වා පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. මෙවැනි භූ-දේශපාලනික සහ ගෝලීය අවදානම් හමුවේ අපට තවත් IMF වැඩසටහනක් අවශ්‍යද, නැද්ද සහ අවශ්‍ය නම් ඒ කුමන ආකාරයේ එකක්ද යන්න පිළිබඳව අපගේ කමිටුව අධ්‍යයනය කර කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ලබා දෙනවා. අවසන් තීරණය ගන්නේ කැබිනට් මණ්ඩලයයි,” යනුවෙන් පැවසීය.

එමෙන්ම, එවැනි නව වැඩසටහනකට යෑමේ ඉඩකඩක් පවතින්නේදැයි වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදියා නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා තහවුරු කළේ ඒ සඳහා පැහැදිලි සම්භාවිතාවක් පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *