සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශිවරාජා අනෝජන් නැමැති ශ්‍රී ලාංකික තරුණයාට සමාව ලබා ගැනීම සඳහා රජය රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් දැඩි උත්සාහයක නිරත වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මුස්ලිම් මන්ත්‍රීවරුන් එක්ව අනෝජන්ට රාජකීය සමාව ලබා දෙන ලෙස සෞදි රජුගෙන් ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ද ප්‍රකාශ කර තිබේ.
මෙම සිද්ධියට පසුබිම් වූයේ, යාපනයේ සිට කතරගම දක්වා පාද යාත්‍රාවෙන් ගමන් කළ වන්දනා නඩයක සිටි සුනඛයෙකුට කල්මුණේ ප්‍රදේශයේදී කිසියම් පුද්ගලයෙකු විසින් පහරදීමේ සිදුවීමක් මුල් කරගනිමින්, අනෝජන් විසින් ඉස්ලාම් දහමට අපහාස වන අන්දමින් සිය ෆේස්බුක් ගිණුම හරහා වීඩියෝවක් පළ කිරීමයි. එම වීඩියෝව ඔස්සේ ආගමික අපහාසයක් සිදු කළ බවට එල්ල වූ චෝදනාව මත සෞදි පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.
අනතුරුව එරට අධිකරණය මඟින් ඔහුට වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම කර තිබිණි.
එම දඬුවම ලිහිල් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ එරට පිහිටි තානාපති කාර්යාලය මැදිහත් වෙමින්, සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය අභියාචනාධිකරණය හමුවේ පසුගිය අගෝස්තු 24 වන දින අභියාචනයක් ගොනු කරන ලදී.
කෙසේවෙතත්, අභියාචනය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තත්ත්වය බලාපොරොත්තු වූවාට වඩා බරපතළ අතට හැරී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අනාවරණය කළේය.
ඒ පිළිබඳව අදහස් දැක්වූ විදේශ අමාත්‍යවරයා,
“අපේ තානාපති කාර්යාලය මැදිහත් වෙලා, අභියාචනා කරලා, නීතිඥවරුන් සම්බන්ධ කරගෙන එම දඬුවම ලිහිල් කරගන්න විශාල උත්සාහයක් ගත්තා තවමත් ගනිමින් සිටිනවා. නමුත් දැන් තත්ත්වය ඊට වඩා බයානක අඩියකට පැමිණ තිබෙනවා. එම දඬුවම ලිහිල් වෙනවා වෙනුවට ඊටත් වඩා බරපතළ කරමින් ඔහුට මරණ දඬුවම ලබාදීමට අධිකරණය සූදානම් වන බවට තොරතුරු ලැබී තියෙනවා.”
මෙම අවදානම් සහගත වාතාවරණය හමුවේ තරුණයාගේ ජීවිතය බේරා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීමෙන් සෞදි රජය සමඟ සාකච්ඡා කර සහනදායී විසඳුමක් ලබා ගැනීමට උපරිම පියවර ගනිමින් සිටින බව රජය අවධාරණය කරයි.
