ට‍්‍රම්ප් ධවල මන්දිරයෙන් CNN එලවා දමයි..

තම පරිපාලනය පිළිබඳව අඛණ්ඩව ව්‍යාජ පුවත් ප්‍රචාරය කරන බවට චෝදනා කරමින් CNN, MS NOW සහ Politico යන ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන තුනට ධවල මන්දිරය ආවරණය කිරීම තහනම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ.

තම Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, අදාළ මාධ්‍ය ආයතන විසින් සිදුකරනු ලබන ව්‍යාජ වාර්තාකරණයට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම තහනම පැනවූ බවයි. අමෙරිකානු ජනාධිපතිවරයා පිළිබඳව තොරතුරු වාර්තා කිරීමේදී මාධ්‍ය ආයතනවලට ප්‍රබන්ධ සහ අසත්‍ය තොරතුරු ලිවීමට ඉඩ දිය නොහැකි බවත්, ඉදිරියේදී තවත් මාධ්‍ය ආයතන කිහිපයකට ද මෙවැනිම පියවරකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඔහු එහිදී අනතුරු අඟවා ඇත.

අනතුරුව ඕවල් කාර්යාලයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ, මෙය කිසියම් එක් පුවතක් මුල් කරගෙන ගත් තීරණයක් නොවන බවත්, පසුගිය වසර දෙකක කාලය පුරා රිපබ්ලිකන් පක්ෂය සහ තම පරිපාලනය හෑල්ලු කිරීමේ අරමුණින් ඔවුන් ගෙනගිය සෘණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණයේ සමුච්චිත ප්‍රතිඵලයක් බවත්ය.

ජනාධිපතිවරයාගේ මෙම තීරණය සාධාරණීකරණය කරමින් අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් චෝදනා කර ඇත්තේ, අදාළ මාධ්‍ය ආයතන විසින් පළ කරන ලද ඇතැම් වාර්තා මගින් එරට හමුදා භටයින්ගේ ජීවිත පවා අනතුරේ හෙළා ඇති බවයි.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ මෙම දැඩි ක්‍රියාමාර්ගය මාධ්‍ය නිදහසට සහ අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එල්ල වූ නීති විරෝධී ප්‍රහාරයක් ලෙස හඳුන්වමින් මාධ්‍ය සංවිධාන සහ නීති විශාරදයින් දැඩි විරෝධය පළ කර තිබේ. තම වාර්තාකරණය සාධාරණ මෙන්ම නිරවද්‍ය බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති බවත් සී.එන්.එන්. ආයතනය පවසන අතර, පළමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් තහවුරු කර ඇති මාධ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් දැඩිව පෙනී සිටින බව ‘පොලිටිකෝ’ ආයතනය ප්‍රකාශ කර ඇත.

ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමය අවධාරණය කරන්නේ, සිය වෘත්තීය වගකීම ඉටු කිරීම හේතුවෙන් මෙලෙස ඉලක්ක කර ඇති මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් වෙනුවෙන් තමන් පෙනී සිටින බවයි. එමෙන්ම මාධ්‍ය නිදහස සුරැකීමේ කමිටුවේ සභාපති බෲස් බ්‍රවුන් පෙන්වා දෙන්නේ, යම් මාධ්‍යයක වාර්තාකරණයට අකමැති වූ පමණින් ඔවුන්ට තහනම් පැනවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම උල්ලංඝනය කිරීමක් වන බැවින්, මෙම තීරණය අධිකරණය හමුවේ නීත්‍යනුකූලව අභියෝගයට ලක්වී නිශ්ප්‍රභ වනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *