ආගමික අපහාසයක් සිදුකළ බවට චෝදනා කරමින් සෞදි අරාබියේදී අත්අඩංගුවට ගෙන මරණ දඬුවම නියම කර ඇතැයි වාර්තා වන ශ්‍රී ලාංකික තරුණයාගේ ජීවිතය බේරාගැනීම සඳහා රජය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් උපරිම මැදිහත්වීමක් සිදු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙලෙස බරපතළ දඬුවමකට මුහුණ දී සිටින්නේ අම්පාර – කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සිවරාසා අනෝජන් නමැති තරුණයෙකි. මීට පෙර යාපනයේ සිට කතරගම බලා ගමන් කළ පාද යාත්‍රාවක සුනඛයෙකුට කිසියම් පුද්ගලයෙකු කළ පහරදීමක් මුල් කරගනිමින්, සෞදි අරාබියේ සේවය කරමින් සිටි මෙම තරුණයා සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා පළ කළ වීඩියෝවක් මඟින් ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් එරට පොලිසිය මඟින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි.
Local News
අනතුරුව සෞදි අධිකරණය මඟින් ඔහුට වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම කර තිබූ අතර, ඊට එරෙහිව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ නීතිඥයෙකු මාර්ගයෙන් සෞදි නැගෙනහිර කලාපීය අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කෙරිණි.
කෙසේ වෙතත්, එම අභියාචනය විභාග කිරීමෙන් අනතුරුව පෙර ලබාදී තිබූ සිරදඬුවම වෙනුවට ඔහුට මරණ දඬුවම නියම කළ බවට නීතිඥවරයා විසින් රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වාචිකව දැනුවත් කර ඇතැයි වාර්තා වේ.
මෙම තීන්දුවේ නෛතික පදනම සහ නිල තොරතුරු තහවුරු කරගැනීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සෞදි අධිකරණ බලධාරීන්ගෙන් නිල ලිඛිත තීන්දුව අපේක්ෂාවෙන් පසුවේ.
එමෙන්ම, කොළඹ පිහිටි සෞදි තානාපති කාර්යාලයේ කාර්යභාර නිලධාරියා සමඟ ද මේ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, දඬුවම දැඩි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ සහ අනෝජන්ගේ පවුලේ දැඩි කනස්සල්ල පළ කර තිබේ.
මෙම තීන්දුවට එරෙහිව මාසයක (දින 30ක) කාලයක් ඇතුළත සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නැවත අභියාචනයක් ඉදිරිපත් කිරීමට නීතිමය අවස්ථාව පවතින බැවින්, අදාළ කාලසීමාව තුළ එම පියවර ගැනීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අනෝජන්ගේ ඥාතීන් සමඟ එක්ව අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටියි.
මේ පිළිබඳව කරුණු පැහැදිලි කළ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ, අදාළ තරුණයා ශ්‍රී ලාංකිකයෙකු බැවින් ඔහුව බේරාගැනීම රජයේ වගකීමක් බවත්, තානාපති කාර්යාලය හරහා සෞදි රජය සහ උප තානාපතිවරයා සමඟ අඛණ්ඩව සාකච්ඡා පවත්වමින් ඔහුට සමාවක් ලබාගැනීමට රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයක නිරත වන බවත්ය.
තවද, මෙම සිදුවීම පදනම් කරගනිමින් මෙරට තුළ කිසිදු පාර්ශ්වයක් ආගමික හෝ වාර්ගික ප්‍රකෝපකාරී තත්ත්වයන් ඇති කිරීමට උත්සාහ නොකළ යුතු බවත්, ජාතික සමගිය හා සහජීවනය රැකගැනීමට සියලු දෙනා කැපවිය යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා සඳහන් කළේ පවුලේ ඥාතීන් රුපියල් ලක්ෂ දහනවයක මුදලක් ගෙවා නීතිඥ සහාය ලබාගනිමින් අභියාචනය ඉදිරිපත් කළද මෙවැනි ඛේදනීය තත්ත්වයක් උද්ගතව ඇති බවත්, ලබන සතියේ පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ කරුණු විමසන බවත්ය.
සිය පුතු අතින් වරදක් සිදුව ඇති බව පිළිගන්නා නමුත්, ඔහුට සමාව ලබා දී ජීවිතය බේරා දෙන ලෙස අනෝජන්ගේ මව ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් හඬා වැටෙමින් ආයාචනා කර සිටියි.
