දුම්රිය සේවකයන්ට සමාජ ජාලා තහනම් කරයි.. LIVE එන්නත් තහනම්..

දුම්රිය මෙහෙයුම් කටයුතු සහ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර තොරතුරු අවසරයකින් තොරව සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම වළක්වාලමින් දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා විසින් විශේෂ වකුලේඛනයක් නිකුත් කර තිබේ.

මෙම නව නියෝගයට අනුව, රාජකාරි වේලාවන්හිදී හෝ ඕනෑම දුම්රිය පරිශ්‍රයක සිටියදී දුම්රිය මෙහෙයුම්, අභ්‍යන්තර තීරණ, නිල ලිපි ලේඛන හෝ ආයතනික තොරතුරු සජීවීව හෝ වෙනත් කිසිදු ආකාරයකින් සමාජ මාධ්‍ය වෙත යොමු කිරීම සියලුම නිලධාරීන්ට සහ සේවකයන්ට සපුරා තහනම් වේ.

දුම්රිය ස්ථාන, පාලන මැදිරි, එන්ජින් පාලන මැදිරි සහ වැඩපොළවල් ඇතුළු සියලුම දුම්රිය පරිශ්‍රයන් සඳහා මෙම නීතිය බලපැවැත්වෙනු ඇත.

දෙපාර්තමේන්තුවේ නිල තොරතුරු බාහිර පාර්ශ්වයන්ට හෝ මාධ්‍ය වෙත ලබා දීමේ බලය පවතින්නේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට, ඔහු විසින් ලිඛිතව පත් කරනු ලබන නිල මාධ්‍ය ප්‍රකාශකවරයාට සහ මූලස්ථානය මගින් පත් කර ඇති තොරතුරු නිලධාරියාට පමණක් බව එම වකුලේඛනයේ පැහැදිලිව දක්වා ඇත.

මෙම උපදෙස් උල්ලංඝනය කරමින් කටයුතු කරන ඕනෑම නිලධාරියෙකුට හෝ සේවකයෙකුට එරෙහිව දුම්රිය දෙපාර්තමේන්තු උපදෙස් සංග්‍රහය සහ ආයතන සංග්‍රහයේ විධිවිධාන යටතේ වැඩ තහනම් කිරීම ඇතුළු උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා බව සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *