ඉරාන හිතවාදී යේමනයේ හුති සටන්කාමීන් එරට ප්‍රධාන වරාය නගරයක් වන මොකා (Mocha) නගරයේ පාලනය සියතට ගෙන, රතු මුහුදු තීරයේ පිහිටි උපායමාර්ගික දූපත් කිහිපයක් දෙසට සිය ගමන් මඟ තහවුරු කරගෙන ඇත.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට මැතිවරණයෙන් අනතුරුව ඉරාන යුද්ධය නිමාවට පත්වනු ඇතැයි ප්‍රකාශ කර පැය කිහිපයකට පසුව මෙම තීරණාත්මක සිදුවීම වාර්තා වී තිබේ.
Stream Live News
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, ලොව ප්‍රධානතම නාවික වෙළෙඳ මාර්ගයක් මෙන්ම රතු මුහුදේ දකුණු පිවිසුම වන බබ් එල්-මැන්ඩෙබ් (Bab el-Mandeb) සමුද්‍ර සන්ධිය කෙරෙහි හුති සටන්කාමීන් සතු බලපෑම මෙම මෙහෙයුම හරහා තවදුරටත් ශක්තිමත් වී ඇති බවත්, ඔවුන් මේ වන විට හනීෂ් දූපත් දක්වා ළඟා වී ඇති බවත්ය.
සෞදි අරාබියට අයත් නෞකාවලට හැර අනෙකුත් සියලුම නාවික සමාගම්වල නෞකාවලට රතු මුහුදේ ගමන් කිරීම ආරක්ෂිත බව හුති පාලනය යටතේ පවතින මානුෂීය මෙහෙයුම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත.
ගෝලීය තෙල් සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීමෙන් පසු, ලොව විශාලතම තෙල් අපනයනකරු වන සෞදි අරාබිය සිය සැපයුම් සඳහා ප්‍රධාන වශයෙන් රතු මුහුදු මාර්ගය මත යැපෙමින් සිටියි.
හුති ප්‍රකාශක මොහොමඩ් අබ්දුල්සලාම් සඳහන් කර ඇත්තේ, මෙම ක්‍රියාමාර්ග හුදෙක් ආත්මාරක්ෂක පියවරයන් පමණක් වන අතර, යේමනය වෙත එල්ල වන ප්‍රහාර නතර වූ වහාම මෙම මෙහෙයුම් ද අත්හිටුවන බවයි.
හෝමූස් සමුද්‍ර සන්ධියට ප්‍රතිවිරුද්ධ දෙසින් පිහිටි මෙම නාවික මාර්ගයේ පූර්ණ පාලනය නතු කර ගැනීමට හුතිවරුන්ට හැකි වුවහොත්, එය ඇමෙරිකාව සමඟ පවතින ගැටුමේදී ඉරානයට දැවැන්ත උපායමාර්ගික වාසියක් හිමිකර දෙනු ඇත.
ප්‍රධාන සැපයුම් මාර්ග අවහිර වීමේ දැඩි අවදානම හමුවේ ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල බ්‍රහස්පතින්දා දිනයේදී සියයට 4කින් පමණ ඉහළ ගොස් ඇත.
අර්බුදය තවදුරටත් උග්‍ර වීම වැළැක්වීමේ අරමුණින්, යේමනයේ හුති මිත්‍ර පාර්ශ්වයන් පාලනය කරන ලෙස දන්වමින් සෞදි අරාබිය විසින් පාකිස්තානය හරහා ඉරානය වෙත අනතුරු ඇඟවීමක් යොමු කර ඇත.
පාකිස්තානය මෙම පණිවිඩය ටෙහෙරානය වෙත භාර දුන් බව තහවුරු කළ ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ, හුතිවරුන් පාලනය කිරීමේ හැකියාවක් ඉරානය සතුව නොමැති බවයි.
පසුගිය පෙබරවාරි මාසයේදී යුද්ධය ආරම්භ වූ දා සිට ගල්ෆ් කලාපයේ නාවික ගමනාගමනය ඉලක්ක කරගනිමින් ඉරානය සහ ඇමෙරිකාව අතර මෙතෙක් සිදුවූ දැවැන්තම ප්‍රතිප්‍රහාර මාලාව ක්‍රියාත්මක වන පසුබිමක මෙම නවතම ගැටුම් වර්ධනය වී තිබේ.
ඉරානයේ සහාය ලබන ප්‍රධාන පාර්ශ්වකරුවෙකු වන හුති සටන්කාමීන්, ගාසා යුද්ධයේදී පලස්තීනුවන්ට සහය පළ කරමින් ඊශ්‍රායලයට සහ රතු මුහුදේ වාණිජ නෞකාවලට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටියි.
රජයේ හමුදා ආරංචි මාර්ග පවසන පරිදි, යේමන රජයේ හමුදා සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශ්වයන් රතු මුහුදු තීරයේ පිහිටි දුබාබ් (Dhubab) සහ පෙරීම් (Perim) දූපත් ආශ්‍රිතව යළි ස්ථානගත වෙමින් සිටින අතර, එම ප්‍රදේශවල පාලනය රැක ගැනීම බබ් එල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාවට අතිශය තීරණාත්මක සාධකයකි.
‘කඳුළු දොරටුව’ (Gate of Tears) නමින් හැඳින්වෙන බබ් එල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය අරාබි අර්ධද්වීපයේ යේමනය සහ අප්‍රිකානු කලාපයේ ජිබුටි හා එරිත්‍රියාව අතර පිහිටා ඇති අතර, එය සූවස් ඇළ ඔස්සේ යුරෝපයට සහ ආසියාවට ඉන්ධන හා වෙළෙඳ භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන ලොව ප්‍රධානතම ජීවනාලියකි.
යුද ගැටුම් සහ ඊට සමගාමීව ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ජනාධිපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය වාර්තාගත ලෙස පහත වැටී ඇති අතර, එළඹෙන නොවැම්බර් මධ්‍යවාර මැතිවරණයට බලපෑම් කිරීමට ටෙහෙරානය උත්සාහ කරන බවට ට්‍රම්ප් චෝදනා කළේය. මැතිවරණයෙන් පසු යුද්ධය වහාම අවසන් වනු ඇති බව ඔහු මාධ්‍ය වෙත කියා සිටියේය. තවද, ඉරානයේ නටාන්ස් (Natanz) න්‍යෂ්ටික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි දැඩි ආරක්ෂිත භූගත උමං සංකීර්ණයක් වන ‘පික්ඇක්ස් කන්ද’ (Pickaxe Mountain) වෙත අමෙරිකාවෙන් ප්‍රහාර එල්ල විය හැකි බවට ද ට්‍රම්ප් අනතුරු ඇඟවීය.
හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ නෞකා ගමනාගමනය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට වොෂින්ටනය ගත් උත්සාහයන් ද මෙම නව ගැටුම් හමුවේ අඩාල වී ඇති අතර, ඇමෙරිකාව විසින් ඉරාන තෙල් ප්‍රවාහන නෞකා පහක් විනාශ කිරීමට ප්‍රතිචාර ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ තිබූ නෞකා 10කට තමන් පහර දුන් බව ඉරානය ප්‍රකාශ කර තිබේ.
