මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතත්, මෙරට පාරිභෝගිකයාට එම බර දරාගත හැකි දැයි විශේෂයෙන් සොයා බලා ඉදිරි තීරණ ගන්නා බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මාසය අවසානයේ සිදු කෙරෙන මිල සංශෝධනයේදී මිල වැඩි කිරීම, සහනාධාර ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම හෝ පවතින නීතිමය රාමුව තුළ විකල්ප ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි.
News
විශේෂයෙන්ම ඩීසල් සඳහා වැයවන පිරිවැය ඉහළ යාම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හැර දිවයිනේ ක්‍රියාත්මක සෙසු ඉන්ධන බෙදාහරින සමාගම් වෙළෙඳපොළට ඉන්ධන නිකුත් කිරීමේ සීමා පනවා ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඊට විසඳුමක් ලෙස එම සමාගම්වල පිරිවැයට අනුකූලව ඉහළ සහ පහළ සීමාවක් නියම කිරීම සම්බන්ධයෙන්ද සොයා බලන බව ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පිරිපහදුව මෙන්ම ගුවන් යානා ඉන්ධන ඇතුළු අනෙකුත් නිෂ්පාදන අලෙවියෙන් උපයන ආදායම් පවතින බැවින්, ඩීසල් අලෙවියෙන් සිදුවන පාඩුව පියවා ගැනීමේ හැකියාව පවතින බවත්, ඒ අනුව වෙළෙඳපොළේ අර්බුදයක් ඇති නොවී ජනතාවට සහනදායී හා සාධාරණ මිලකට අඛණ්ඩව ඉන්ධන සැපයීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
