මන්නාරමේ තෙල්, ගෑස් කැණීමට කතෝලික රදගුරු සමුළුව ලෙඩක් අදී… ජන මත විමසුමක් ඉල්ලයි..

 මන්නාරම් දූපත අවට මුහුදු තීරයේ සිදු කිරීමට නියමිත බවට තොරතුරු ලැබී ඇති ඉන්ධන සහ ගෑස් ගවේෂණ කැණීම් කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව සිය අවධානය යොමු කර තිබේ.

එවැනි ව්‍යාපෘති රටේ ආර්ථික සංවර්ධනයට ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි වුවද, ඊට පෙර අනිවාර්යයෙන්ම විනිවිදභාවයෙන් යුත් නිසි පාරිසරික තක්සේරුවක් සිදු කළ යුතු බව රදගුරු සමුළුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී.

දැනටමත් මන්නාරම් දූපතේ සිදුවන මහා පරිමාණ වැලි කැණීම් හේතුවෙන් දැවැන්ත පාරිසරික හානියක් සිදුවෙමින් පවතින බවත්, එම ක්‍රියාකාරකම් හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි නොසන්සුන්තාවයට පත්ව ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.

ඊට අමතරව තෙල් සහ ගෑස් කැණීම් පිළිබඳව ද තොරතුරු වාර්තා වීම ජනතාවගේ මෙම කලබලකාරී ස්වභාවය තවදුරටත් වර්ධනය වීමට හේතු වී ඇත.

මෙවැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙර ඒ පිළිබඳව ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීම සහ ඔවුන්ගේ මතය විමසීම බලධාරීන්ගේ වගකීමක් බව කතෝලික රදගුරු සමුළුව පෙන්වා දෙයි.

විශේෂයෙන්ම, ජනතාවගේ අයිතිවාසිකම් සහ ගරුත්වය ආරක්ෂා වන පරිදි මෙම කටයුතු සිදු විය යුතු අතර, කිසිදු අයුරකින් මන්නාරම් දූපතේ ධීවර ප්‍රජාවගේ ජීවනෝපායට හෝ ප්‍රදේශයේ ජල සම්පතට ඉන් හානියක් නොවිය යුතු බවට ද ඔවුහු දැඩිව ප්‍රකාශ කරති.

2026 අගෝස්තු 18 සිට 20 දක්වා පැවති ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ පූර්ණ සැසිවාරයේදී ගනු ලැබූ තීරණ මත පදනම්ව, 2026 සැප්තැම්බර් 10 වන දිනැතිව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන් ඇතුළු රදගුරු මඬුල්ලේ අත්සනින් යුතුව මෙම නිල ප්‍රකාශනය නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *