රජය විසින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කළද, ත්‍රිරෝද රථ ගාස්තු විධිමත් ලෙස සංශෝධනය කිරීමට මෙතෙක් නීතිමය අවකාශයක් ලැබී නොමැති බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසයි.
අද දෙරණ පුවත් සේවය වාර්තා කරන පරිදි, එම සංගමයේ ප්‍රධාන ලේකම් රෝහණ පෙරේරා මහතා සඳහන් කළේ රජය එක් පසෙකින් කිරිපිටි සහ පාන්පිටි මිල ඉහළ නංවමින්, අනෙක් පසින් ඉන්ධන මිල සුළු වශයෙන් අඩු කිරීම කට්ට කයිරාටික ක්‍රියාවක් බවයි.
ත්‍රිරෝද රථ ගාස්තු නියාමනය කිරීම සඳහා වන යෝජනා ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අමාත්‍යාංශය වෙත භාර දී ඇති අතර, ඊට කැබිනට් අනුමැතිය ද හිමිව තිබේ.
දැනට එම කෙටුම්පත නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර, එය පාර්ලිමේන්තුවේ සම්මත වී කථානායකවරයා අත්සන් තැබීමෙන් පසු නීතියක් බවට පත්වනු ඇත.
එතෙක් පවතින පැරණි ගාස්තු ක්‍රමය, එනම් පළමු කිලෝමීටරයට රුපියල් 110ක් සහ දෙවන කිලෝමීටරයේ සිට රුපියල් 90ක් යන සීමාවන් තුළ රැඳී සිටීමට සිදුව ඇති බවත්, එහෙත් ප්‍රායෝගිකව මාර්ගවල විවිධ ගාස්තු අය කෙරෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට මිල පාලනය සඳහා මැදිහත් විය නොහැකි බව පවසා ඇති බැවින්, ජාතික ගමනාගමන කොමිෂන් සභාව හරහා මෙම නියාමනය කඩිනමින් නීතිගත කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියි.
