2013 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට Airbus ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 02ක (රුපියල් මිලියන 100කට අධික) අල්ලසක් ලබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් වන නඩු විභාගය අවසන් වන තුරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කරන ලද මෙම නඩුවේ අධිචෝදනා පත්‍ර භාරදීම සඳහා එය කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබිණි.
ප්‍රියන්ත ලියනගේ (සභාපති), තිලකරත්න බණ්ඩාර සහ ධම්මික දිසානායක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, දැනට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන පළමු විත්තිකාර නාමල් රාජපක්ෂ මහතාව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඔහුගේ බිරිඳ ලිමිනි රාජපක්ෂ මහත්මිය ද අධිකරණ ශාලාවට පැමිණ සිටියාය.
මෙහි සෙසු විත්තිකරුවන් වන ශමීන්ද්‍ර රාජපක්ෂ සහ ප්‍රියංකා නියෝමාලි අධිකරණය මඟහැර විදේශගතව සිටින බැවින්, ඔවුන් නොමැතිව නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව පැමිණිල්ල අධිකරණයට දැනුම් දුන්නේය.
විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින්, මෙම නඩුව ඉදිරියට ගෙන යාමට මහාධිකරණයට බලයක් නොමැති බව බැලූ බැල්මට පෙනී යන බවත්, සේවාදායකයාගේ පෞද්ගලික නිදහස සීමා කෙරෙන ආකාරයේ කිසිදු නියෝගයක් නිකුත් නොකරන ලෙසත් ඉල්ලා සිටියේය.
ඊට දැඩි විරෝධය පළ කරමින් පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අවධාරණය කළේ, අපරාධ නඩු විධාන සංග්‍රහය සහ දූෂණ විරෝධී පනතේ 149 වන වගන්තිය ප්‍රකාරව අධිකරණයෙන් නියෝගයක් නිකුත් නොකර සිටීමට හැකියාවක් නොමැති බවයි.
අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් සහතිකයක් ඉදිරිපත් කර ඇති මෙවන් නඩුවකදී සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවන්නේ නම් විත්තිකරු නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කළ යුතු බවත්, එසේ රිමාන්ඩ් කරන්නේ නම් දිනපතා නඩුව අසා කඩිනමින් අවසන් කිරීමට පැමිණිල්ල සූදානම් බවත් ඔහු පෙන්වා දුන්නේය.
දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ, දූෂණ විරෝධී පනත ප්‍රකාරව විත්තිකරුට ඇප ලබාදීම සාධාරණීකරණය කළ හැකි කිසිදු සුවිශේෂී කරුණක් විත්තිය විසින් ඉදිරිපත් කර නොමැති බවයි.
ඒ අනුව විත්තියේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය, විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා ලබන දෙසැම්බර් මස 02 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
