තායිලන්තය ශ‍්‍රී ලංකාවට නිදහස් වීසා අත්හිටුවයි…

 ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර හිමියන් සඳහා තායිලන්තය විසින් ලබා දී තිබූ ‘වීසා රහිතව ඇතුළු වීමේ’ සහනය ලබන සැප්තැම්බර් 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට එරට රජය තීරණය කර ඇත.

තායිලන්ත රජය විසින් හඳුන්වා දී ඇති නව සංශෝධිත ඇතුළුවීමේ රෙගුලාසිවලට අනුව මෙම පියවර ගෙන තිබේ.

තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන පරිදි, වීසා නිදහස් කිරීම් සහ පැමිණීමේදී ලබා දෙන වීසා (Visa on Arrival) සම්බන්ධ නව ක්‍රමවේදය පසුගිය අගෝස්තු 31 වැනිදා එරට රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇත.

පසුගිය මැයි මාසයේදී තායිලන්ත කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද සමාලෝචනයකට අනුව මෙම වෙනස්කම් සිදු කර තිබේ.

ඒ අනුව, මීට පෙර ශ්‍රී ලාංකිකයන්ට හිමිව තිබූ දින 60ක වීසා රහිත රැඳී සිටීමේ සහනය අහෝසි වී ඇති අතර, කෙටි කාලීන සංචාර සඳහා වීසා නොමැතිව ඇතුළු විය හැකි රටවල නාමලේඛනය ද තායි රජය විසින් සංශෝධනය කර ඇත.

ජාතික ආරක්ෂාව, සංචාරක හා ආර්ථික අභිලාෂයන්, ද්විපාර්ශ්වික අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ තායිලන්තයේ ඉලෙක්ට්‍රොනික වීසා (e-Visa) පද්ධතියේ භාවිතය ප්‍රචලිත කිරීම වැනි කරුණු සලකා බලමින් තායි රජය මෙම තීරණයට එළඹ තිබේ.

නව රෙගුලාසිවලට අනුව, සැප්තැම්බර් 15 වැනිදායින් පසුව තායිලන්තය බලා පිටත්ව යන සියලුම ශ්‍රී ලාංකිකයන් සිය ගමනට පෙර වලංගු වීසාවක් ලබා ගැනීම අනිවාර්ය වේ.

මේ සඳහා තායිලන්තයේ මාර්ගගත e-Visa පද්ධතිය හරහා අයදුම්පත් යොමු කළ හැකි බවත්, කොළඹ පිහිටි රාජකීය තායි තානාපති කාර්යාලය ද මේ පිළිබඳව නිල වශයෙන් දැනුවත් කර ඇති බවත් වාර්තා වේ.

කෙසේ වෙතත්, සැප්තැම්බර් 15 වැනිදාට පෙර තායිලන්තයට ඇතුළු වන ශ්‍රී ලාංකික සංචාරකයන්ට එරට ආගමන විගමන බලධාරීන් විසින් ලබා දෙන අවසරය අවසන් වන තෙක් වීසා රහිතව රැඳී සිටීමට අවස්ථාව හිමි වන බව ද එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *