පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කර කොළඹ වරායේ CICT පර්යන්තයේ රඳවාගෙන ඇති බහාලුම් දෙකක සඟවා තිබූ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධ විමර්ශන ක්‍රියාවලියේදී සිදුව ඇතැයි පැවසෙන අඩුපාඩු සහ පැහැර හැරීම් පිළිබඳව සොයා බැලීමට පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝගයෙන් විශේෂ අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් මෙම අභ්‍යන්තර පරීක්ෂණය මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
එසේ වුවද, මෙම අභ්‍යන්තර විමර්ශනය හේතුවෙන් පොලිස් භාරයට ගෙන ඇති අදාළ බහාලුම් දෙක සහ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් සිදුකෙරෙන ප්‍රධාන විමර්ශන කටයුතුවලට කිසිදු බාධාවක් එල්ල නොවන බව පොලිසිය අවධාරණය කර සිටී.
එම මූලික විමර්ශන කටයුතු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් ඉතා විනිවිදභාවයකින් යුතුව අඛණ්ඩව ඉදිරියට මෙහෙයවනු ලබන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
