ඉන්ධන මිල වැඩි කලා මදි.. IMF ඉදිරි වාරික අඩමානයි…

 රජය විසින් ඉන්ධන මිල සඳහා සහනාධාරයක් ලබාදීමට පියවර ගැනීමත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් (EFF) වැඩසටහනේ මීළඟ වාරිකය මුදාහැරීම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් මතුව ඇත.

මෑතකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡාවලදී ඉන්ධන මිල සැමවිටම පිරිවැය මත පදනම්ව නිරූපණය විය යුතු බවට ඔවුන් දැඩිව අවධාරණය කර තිබිණි. එහෙත් රජය ඉන්ධන සහනාධාර ලබාදීමට තීරණය කිරීමත් සමඟ දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකින් තොරව අවසන් වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබේ. කෙසේ වෙතත්, එකඟතාවකට පැමිණීම සඳහා සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මක බව එම අරමුදල වැඩිදුරටත් සඳහන් කර ඇත.

කෙසේ නමුත් ලබන වසරේ මාර්තු මාසයෙන් පසු අයි.එම්.එෆ්. සමඟ ඉදිරියට කටයුතු කරන ආකාරය පිළිබඳ විකල්ප සම්බන්ධයෙන් රජය සාකච්ඡා කරමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ, වත්මන් ණය වැඩසටහන අවසන් වීමෙන් පසු තවත් අරමුදල් වැඩසටහනකට යොමු වන්නේද, එය නවතා දමන්නේද නැතහොත් වෙනත් ආකාරයක වැඩසටහනකට එළඹෙන්නේද යන්න පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බවයි.

වීරසිංහ මහතා කියා සිටියේ තාක්ෂණික සහ ප්‍රමාණාත්මක කරුණු කිහිපයක විශ්ලේෂණ කටයුතු තවමත් අවසන් වී නොමැති වීම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව වූ බවයි.

කෙසේ වෙතත්, මෙම වසර අවසන් වීමට පෙර හත්වැනි සමාලෝචනය සාර්ථකව සම්පූර්ණ කර අදාළ ණය වාරිකය ලබා ගැනීමට හැකිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද හෙතෙම විශ්වාසය පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *