අනුර මීට පෙර ජනාධිපතිකං කරල නෑ.. අපි ඇමතිකං කරල නෑ.. අත්දැකීම් ලැබුනම අපි හොදට කරනවා..

පෙර පැවති පාලකයන් මෙන් පවුල් පරම්පරාවෙන් ලැබුණු ජනාධිපතිකම්, අගමැතිකම් හෝ ඇමතිකම් දැරූ පූර්ව අත්දැකීම් නොමැතිව වුවද වත්මන් රජය මේ තරම් සාර්ථකව කටයුතු කරන්නේ නම්, ඉදිරියේදී අත්දැකීම් සම්භාරය සමඟින් රට පරිවර්තනය කරන ආකාරය පිළිබඳව ජනතාව බිය විය යුතු නැතැයි නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ප්‍රකාශ කළේය.
ජනහමුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, වත්මන් පාලනය ගෙවමින් සිටින්නේ වඩාත්ම අසීරු සංක්‍රාන්ති කාලසීමාව බවද පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා මෙසේද පැවසීය:

“මේ ගෙවෙන්නේ අප මුහුණ දෙන අමාරුම කාලයයි. ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා මීට පෙර ජනාධිපතිකම් කරලා නැහැ. අනිත් පක්ෂවල අය තමයි තාත්තලාගෙන් පුතාලට බලය පවරමින් ඒ තනතුරු දැරුවේ. කිහිප දෙනෙකු හැරුණුකොට අපේ කණ්ඩායමට මීට පෙර අගමැතිකම්, ඇමතිකම් හෝ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිකම් දරාපු අත්දැකීම් තිබුණේ නැහැ. එවන් අත්දැකීම් නොමැතිව වුවද අප මෙතරම් කැපවීමෙන් කටයුතු කරනවා නම්, මේ අත්දැකීම්ද ලැබෙන විට ඉදිරිය කෙතරම් විශිෂ්ට වේවිද කියා සිතා බලන්න.

අපට බාරගැනීමට සිදුවූයේ මත්ද්‍රව්‍යවලින්, දූෂණයෙන්, වංචාවෙන්, පාතාලයෙන් සහ දේශපාලකයන්ගේ මංකොල්ලකෑම්වලින් පිරුණු අපිරිසිදු වතුර භාජනයක් බඳු රටක්. එම අපිරිසිදු බඳුනට අද අප පිරිසිදු වතුර වත්කරමින් සිටිනවා. වසර පහෙන් විශ්‍රාම වැටුප් නොගැනීම, නිල නිවාස අත්හැරීම, වංචා දූෂණ නොකිරීම සහ රාජ්‍ය සේවයට බඳවාගැනීමේදී ඥාති සංග්‍රහය වෙනුවට සුදුසුකමට මුල්තැන දෙමින් රැකියා ලබාදීම යනු ඒ පිරිසිදු ජලයයි.

අපිරිසිදු භාජනයකට පිරිසිදු ජලය වක්කරන සංක්‍රාන්ති සමයේදී එහි දෙවර්ගයේම ලක්ෂණ මිශ්‍රව දිස්විය හැකියි. එහෙත් අධෛර්යමත් නොවී අඛණ්ඩව පිරිසිදු ජලය වත්කිරීම තුළින් එම අපිරිසිදු ජලය ඉවත් වී සමස්ත භාජනයම පිරිසිදු වන සේ, මෙම අසීරු කාලසීමාව නිමා වූ වහාම රටට වඩාත් යහපත් සහ සුබදායක අනාගතයක් උදාවීම නොවැළැක්විය හැකියි.” යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *