ලාෆ්ස් ගෑස් මිල වැඩි කලාට නීතිමය පියවර ගන්න බෑ..- පාරිභෝගික අධිකාරිය

ලාෆ්ස් සමාගම විසින් සිය ගෘහස්ථ ගෑස් මිල ගණන් දැවැන්ත ලෙස ඉහළ නැංවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එම සමාගමේ බලධාරීන් කැඳවා තිබුණ ද, ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් නොමැති බව ‘ද ඩේලි මෝනිං’ පුවත්පත වාර්තා කරයි. 

ගෘහස්ථ ගෑස් යළිත් උපරිම සිල්ලර මිල නියාමන රාමුව යටතට පත් නොකරන තාක් දුරට මෙවැනි මිල සංශෝධනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ නොහැකි බව එම වාර්තාවේ සඳහන් වේ.

‘ද ඩේලි මෝනිං’ පුවත්පත වෙත අදහස් දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්. කේ. කරුණාරත්න මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ, අධිකාරියට නීතිමය ක්‍රියාමාර්ග ගත හැක්කේ වෙළෙඳපොළ තුළ ගෑස් අඛණ්ඩව සැපයීම සහ ලබාගත හැකිභාවය තහවුරු කිරීම සම්බන්ධයෙන් පමණක් බවත්, මිල ඉහළ දැමීම් සම්බන්ධයෙන් නොවන බවත්ය.

මිල සංශෝධනයක් සිදු කිරීමට පෙර සමාගම් ඒ පිළිබඳව අධිකාරිය වෙත දැනුම් දීමට බැඳී සිටිය ද, එම වැඩිවීම නතර කිරීමට හෝ ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට අධිකාරියට බලයක් නොමැති බව ඇය පෙන්වා දී තිබේ. 

අධිකාරියට කළ හැක්කේ අදාළ මිල වැඩිවීම සාධාරණ ද නැද්ද යන්න පිළිබඳව මතය ප්‍රකාශ කිරීම පමණක් බව පෙන්වා දුන් අධ්‍යක්ෂ ජනරාල්වරිය, පාරිභෝගිකයන් වෙනුවෙන් ප්‍රමාණවත් තොග පවත්වාගෙන යාමට අපොහොසත් වීම හේතුවෙන් ලාෆ්ස් සමාගමට එරෙහිව මීට පෙර නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද සිහිපත් කළාය.

පාරිභෝගික අධිකාරියේ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් පැහැදිලි කර ඇත්තේ, යම් භාණ්ඩයක් උපරිම සිල්ලර මිලක් සහිත අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවේ පවතින අවස්ථාවකදී එය නියමිත මිලට වඩා වැඩි මිලකට අලෙවි කරන්නේ නම් පමණක් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවයි. කෙසේ වෙතත්, පසුගිය 2023 වසරේදී ගෘහස්ථ ගෑස් එම උපරිම සිල්ලර මිල පාලන ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බැවින්, සමාගම් විසින් මිල ඉහළ දැමීමේදී ඊට එරෙහිව පියවර ගැනීමට නෛතික ප්‍රතිපාදන නොමැත. 

එසේ වුවද, සිදුකර ඇති මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ලාෆ්ස් සමාගමේ නිලධාරීන් අද (16) අධිකාරිය හමුවට කැඳවා ඇත.

පසුගිය නොවැම්බර් 13 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් සමාගම සිය මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ දැමීය. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දමා රුපියල් 6,740ක් ලෙසත්, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ දමා රුපියල් 2,720ක් ලෙසත් සංශෝධනය කෙරිණි. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම, නෞකා ප්‍රවාහන ගාස්තු සහ රක්ෂණ වියදම් ඉහළ යාම හමුවේ ආනයන වියදම් පියවා ගැනීම සඳහා මෙම පියවර ගත් බව සමාගම සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *