නොපියවූ ක්‍රෙඩිට් කාඩ් ණය මාසයක් තුළ රුපියල් බිලියන 4.2 කින් ඉහළට…

වාණිජ බැංකු පද්ධතිය තුළ සක්‍රීයව පවතින ණයපත් මඟින් ගනුදෙනුකරුවන් ලබාගෙන මෙතෙක් පියවා නොමැති මුළු ණය ප්‍රමාණය එක් මසක් තුළ රුපියල් මිලියන 4,236 කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම මූල්‍ය දර්ශක වාර්තා අනාවරණය කරයි.

මහ බැංකු වාර්තාවලට අනුව, පසුගිය ජූලි මාසය අවසන් වන විට රුපියල් මිලියන 209,189 ක් ලෙස සටහන්ව තිබූ නොපියවූ ක්‍රෙඩිට් කාඩ්පත් ණය ශේෂය, අගෝස්තු මාසය අවසානය වන විට රුපියල් මිලියන 213,425 ක් දක්වා වර්ධනය වී තිබේ.

ඒ අනුව, මාසයක කෙටි කාලයක් තුළ මෙරට නොපියවූ ණයපත් ශේෂයේ ශුද්ධ වර්ධනය රුපියල් මිලියන 4,236 කි.

උද්ධමනය ඉහළ යාම සහ ඉහළ ගිය ජීවන වියදමට මුහුණ දීම සඳහා එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට පාරිභෝගිකයන් වැඩි වශයෙන් ණයපත් භාවිතයට යොමුවීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් ලෙස සැලකේ. 

එමෙන්ම, වාණිජ බැංකු විසින් පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා හඳුන්වා දෙනු ලබන විවිධ වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රමවේද හේතුවෙන් ද ණයපත් භාවිතය ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *