එළඹෙන නොවැම්බර් මස පැවැත්වෙන අතුරු මැතිවරණයෙන් අනතුරුව ඉරානය වෙත යළි මහා පරිමාණ ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් පවතින බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇතැයි TIME සඟරාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතරතුර, මැදපෙරදිග කලාපයේ පවතින යුදමය උණුසුම මධ්‍යයේ සිය තුන්වන ගුවන් යානා ප්‍රවාහන නෞකා බලඇණිය ද කලාපය වෙත යෙදවීමට එක්සත් ජනපද හමුදාව පියවර ගෙන ඇති බව බ්‍රිතාන්‍යයේ The Guardian පුවත්පත වාර්තා කර තිබේ.
‘ටයිම්’ සඟරාව සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට එකඟ වෙමින් ටෙහෙරානය විසින් මෑතකදී ඉදිරිපත් කළ නව සටන් විරාම යෝජනාව ප්‍රමාණවත් නොවන බැවින් තමන් එය ප්‍රතික්ෂේප කළ බවයි.
ඉරානය සමඟ සාමාන්‍ය ගිවිසුමකට එළඹීමට වඩා ස්ථිරසාර විසඳුමක් ලබාගැනීම සිය අරමුණ බව සඳහන් කළ ට්‍රම්ප්, නොවැම්බර් අතුරු මැතිවරණයෙන් පසුව ඉරානය ඉලක්ක කර බෝම්බ හෙලීම් තීව්‍ර කිරීමේ හැකියාව බැහැර කළ නොහැකි බව අවධාරණය කළේය.
ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් ඉලක්ක කර ගනිමින් ඇමෙරිකාව දියත් කළ මූලික මෙහෙයුම් සාර්ථක වුව ද, එම හැකියාවන් වෙනත් ආකාරයකින් යළි ගොඩනැගීමට ටෙහෙරානයට ඉඩ නොතැබීම උදෙසා මෙහෙයුම් දීර්ඝ කිරීමට තීරණය කළ බව ඔහු කියා සිටියේය. දැනටමත් ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 159ක් විනාශ කර ඇති බවත්, ඔවුන්ගේ ගුවන් හමුදා සහ රේඩාර් පද්ධති සම්පූර්ණයෙන්ම අඩපණ කර ඇති බවත් ට්‍රම්ප් එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
‘ද ගාඩියන්’ පුවත්පත වාර්තා කරන පරිදි, USS Theodore Roosevelt ගුවන් යානා ප්‍රවාහන නෞකාව සහ USS Makin Island විශේෂ ප්‍රහාරක බලඝණය ඇතුළු නාවික සහ මැරීන් භටයින් 9,000කගෙන් සමන්විත අතිරේක බලඇණියක් මේ වන විටත් මැදපෙරදිග බලා ගමන් කරමින් සිටියි. දැනටමත් කලාපයේ රඳවා ඇති ‘යූ.එස්.එස්. ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්’ සහ ‘යූ.එස්.එස්. ජෝර්ජ් වොෂින්ටන්’ නෞකාවලට අමතරව මෙම බලඇණිය ද එක්වීමත් සමඟ, ඔක්තෝබර් මස අග වන විට මැදපෙරදිග කලාපයේ ස්ථානගත කර ඇති සමස්ත ඇමෙරිකානු නාවික හා මැරීන් භට සංඛ්‍යාව 20,000 ඉක්මවනු ඇතැයි ආරක්ෂක අංශ තහවුරු කරයි.
ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ්-බාගර් ගාලිබාෆ් ප්‍රකාශ කර ඇත්තේ, ඇමෙරිකාව තවදුරටත් මිලිටරිමය ක්‍රියාමාර්ග ගන්නේ නම් ඉරානය ඊට එරෙහිව දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි. “අපට තෙල් අලෙවි කිරීමට නොහැකි කලාපයක කිසිවෙකුටත් තෙල් අලෙවි කිරීමට ඉඩ නොතබන බවත්, අපගේ ආරක්ෂාව තහවුරු නොවන්නේ නම් කලාපයේ කිසිදු යටිතල පහසුකමක් සුරක්ෂිත නොවනු ඇති බවත්” ඔහු අවධාරණය කර තිබේ.
