පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් 15 දෙනාට වසර 220 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම්.. දේපළ තහනම්..

 2019 පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාව සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ මවුලවිවරුන් ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකුට වසර 220 බැගින් වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද නියම කරන ලදී.

එමෙන්ම වරදකරුවන් වූ එම විත්තිකරුවන්ගේ සියලු චංචල සහ නිශ්චල දේපළ තහනම් කරන ලෙස ද ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේය.

නඩුවේ චෝදනා ලබා සිටි සෙසු විත්තිකරුවන් නවදෙනා නිදොස් කොට මුදාහැරීමට විනිසුරු මඩුල්ල පියවර ගත්තේය.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩු විභාගය පැවැත්විණි.

එහිදී විත්තිකරුවන් 15 දෙනාට එරෙහිව එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කර ඇති බව තීරණය කළ විනිසුරු මඩුල්ල මෙම දඬුවම් නියම කිරීම සිදු කළේය.

ආගම් අතර අන්තවාදී, ජාතිවාදී හෝ එදිරිවාදී හැඟීම් ඇති කිරීමේ කුමන්ත්‍රණයකට අනුව ක්‍රියාත්මක වෙමින්, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය මෙන්ම කොළඹ කිංස්බරි, ෂැංග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ් සහ දෙහිවල නිව් ට්‍රොපිකල් ඉන් යන හෝටල් තුළ මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා හැරීමට කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීම මොවුන්ට එරෙහිව එල්ල වූ ප්‍රධාන චෝදනාවයි.

මෙම අමානුෂික අපරාධය හේතුවෙන් විදේශීය සංචාරකයන් 40 දෙනෙකු සහ කුඩා දරුවන් 35 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 263 දෙනෙකු ඝාතනයට ලක්වූ අතර, තවත් පුද්ගලයන් 526 දෙනෙකුට බරපතළ තුවාල සිදුකර ඔවුන් ඝාතනය කිරීමට තැත් කර තිබූ බව අධිකරණයේදී හෙළි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *